>

ad

පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේකය 12/2016

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය

අධ්‍යාපන අමාත්‍යාංශය
'ඉසුරුපාය', බත්තරමුල්ල.

දිනය: 2016.04.29
චක්‍රලේඛ අංක: 12/2016

පාසල තුළ විනය ආරක්ෂා කිරීම

සමාජ සංස්ථාවක් ලෙසින් පාසලට පැවරෙන ප්‍රමුඛ කර්තව්‍යයක් වන්නේ තම සමාජයට අයත් සංස්කෘතික දායාදයන් අනාගත පරපුරට හිමිකර දෙමින්, යහපත් පරිසරයක් පවත්වා ගෙන යාම සඳහා වත්මන් සිසු පරපුර අනාගත ලොවට ඔබින ආකාරයට සකස් කිරීම ය.

මෙහි දී සමාජය තුළ විනය ආරක්ෂා කරමින් සමාජ සංවේදීතාවයෙන් යුතු ව ජීවත්වන ආකාරයට යෝග්‍ය ආකල්ප හා සාරධර්ම සිසුන් තුළ ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ගයන් ගැනීම සිදු කළ යුතු ව ඇත.

වර්තමාන සංකීර්ණ සමාජ තත්ත්වය තුළ විවිධ බලපෑම් හේතුවෙන් පාසල් සිසුන් තුළ මතු වන අයෝග්‍ය හැසිරීම් පාලනය කරලීමේ අරමුණින් සිසුනට සිදු කෙරෙන දඬුවම් තුළින් ශාරීරිකව හිංසනයන් සිදු වන බවට වාර්තා වී ඇති බැවින් එම තත්ත්වයන් අවම කරලීම සඳහා පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2005.05.11 දිනැති අංක 17/2005 දරන චක්‍රලේඛය අභිබවා මෙම චක්‍රලේඛයේ විධි විධාන 2016.05.02 වන දින සිට බල පැවැත්වේ.

එබැවින්, පාසලට පැමිණෙන සිසුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුනට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහාත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙහි සඳහන් උපදෙස් පිළිපදින ලෙස අවධාරණය කරමි.

1.0 හැඳින්වීම

1.1 පාසලක විනය ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ එම පාසල හා පාසල් සංස්කෘතිය විසින් පිළිගෙන ඇති ශිෂ්‍ය හා වැඩිහිටි (අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින් හා දෙමාපියන්) හැසිරීම් රටාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා පනවා ඇති පාසල් නීති මාලාවන්වලට අනුගත වෙමින් කටයුතු කිරීම යි.

1.2 ඒ අනුව, පාසලක විනය පවත්වා ගෙන යාමේ දී බලපානු ලබන කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් පහත සඳහන් අදහස් ඉදිරිපත් කර ඇත.

  • (අ) ළමයින් හා මනා සබඳතාවයන් ගොඩ නංවා ගනිමින් ශිෂ්‍යයන්ට තම වගකීම් පිළිබඳ හැඟීම් ක්‍රමානුකූල ව ලබා දීම තුළින් සිසුන් තුළ ස්වයං විනයක් ඇති කිරීමට ගුරුවරුන්ට හැකියාවක් පවතින බව.
  • (ආ) ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ට ද තම තමන්ට බලපවත්වනු ලබන පෞද්ගලික වූ ගැටලු පවතී. එම ගැටලු එකිනෙතින් වෙන් ව හඳුනා ගැනීමටත්, එසේ හඳුනා ගනු ලබන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයන් සකසා ගැනීමට හැකි දැනුමක් කුසලතාවයක් ගුරුවරුන් තුළ වර්ධනය කිරීම තුළින් ද ශිෂ්‍ය විනය පවත්වා ගෙන යාමට හැකියාවක් පැවතීම.
  • (ඇ) පාසල තුළ ශිෂ්‍යයන්ට ගැලපෙන ඉගෙනුම් පරිසරයක් ගොඩ නැංවීම හා එයට සමගාමීව පාසල සඳහා හඳුනා ගත් අධ්‍යාපන දර්ශනයක් සමඟ ශිෂ්‍ය කුසලතා සංවර්ධන වැඩ සටහන් ද ක්‍රියාත්මක කිරීම තුළින් ස්වයං විනයකට ශිෂ්‍යයන් යොමු කරවීමට හැකියාව ලැබීම මඟින් ද විනය පවත්වා ගෙන යාමේ ඇති හැකියාව වැඩි වීම.

1.3 වර්තමානයේ දී පාසල් තුළ විනය පවත්වා ගෙන යාම සඳහා පාසල විසින් විවිධ ක්‍රියා මාර්ග ගනු ලබයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශාරීරික දඩුවම් තහනම් කර තිබුණ ද ඇතැම් අවස්ථාවල දී වරදේ ස්වභාවය අනුව ශාරීරික දඬුවම් ලබා දීම සිදුකර ඇති බව නිරීක්ෂණය වේ.

2.0 ශාරීරික දඩුවම්

2.1 ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සැලසීමේ දී දෙමාපියන්ට හා සමාන වගකීමක් ගුරුවරුන්ට ද හිමි වේ ය, යන සංකල්පය පදනම් කරගත් "in Loco Parentis" යන සංකල්පය පදනම් කර ගෙන පාසල තුළ දී අපේක්ෂිත චර්යාවන්ට නොගැළපෙන චර්යාවන් දක්වන සිසුන්ගේ එම අයෝග්‍ය චර්යාවන් වැළැක්වීම සඳහා ශාරීරිකව වේදනාවක් ඇති වන අන්දමින් කරන දඬුවමක් ශාරීරික දඩුවමක් ලෙස හඳුන්වනු ලැබේ.

වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයන්, මානව ක්‍රියාකාරිකයන් වැනි කණ්ඩායම් ශාරීරික දඬුවම පැහැදිලි කරනු ලැබ ඇත්තේ ළමයිනට කායික වශයෙන් පීඩනයක් වන ආකාරයට ලබා දෙනු ලබන දඩුවමක් ලෙසය. ඔවුන් තවදුරටත් පෙන්වා දෙනු ලබන්නේ එය අදාළ සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට අහිතකර ලෙස බලපා අනාගතයේ දී සමාජ විරෝධී චර්යාවන්ට යොමු වීමට පවතින ඉඩකඩ වැඩිවීම මෙන්ම පසුකාලීනව ඔවුන් තුළ දැඩි මානසික ආතති තත්ත්වයන් ද වර්ධනය විය හැකි බවය.

එනිසා සිසුවා තුළ චර්යාමය වෙනසක් ඇති කිරීමේ චේතනාවෙන් සද්භාවයෙන් යුතු වී වුව ද කිසිදු ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට ශාරීරිකව පීඩනයක් විය හැකි ආකාරයේ දඩුවම් ලබාදීමෙන් වැළකී සිටීමට සියලු දෙනා වග බලා ගත යුතු වේ.

2.2 ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ස්ථීර කර ඇති 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 28 (2) වගන්තිය මඟින් පාසල තුළ විනය පරිපාලනය සිදු කිරීමේ දී ළමයාගේ මානව ගරුත්වයට අනුකූලව එය සිදු කළ යුතු බවට අවධාරණය කර ඇත.

2.2.1 ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ ද චර්යාව හැඩ ගැස්වීම් සම්බන්ධයෙන් ළමුනට ලබා දෙන ලද දඩුවම මඟින් අපේක්ෂිත ප්‍රතිඵලයන් ලැබී නොමැති බවත් වෙනත් අයහපත් ප්‍රතිඵලයන් එමඟින් නිර්මාණය වන බවත් ය. එසේ නිර්මාණය විය හැකි අයහපත් ප්‍රතිඵල නම්:

  • i. ශාරීරික දඩුවම තුළින් ප්‍රචණ්ඩත්වය, පහරදීම්, සොරකම් වැනි සමාජ විරෝධී චර්යාවන් සිසුන් තුළ මතු වීම.
  • ii. ළමා අපහරණයට ඇති අවදානම වැඩිවීම.
  • iii. සිසුන් තුළ ආක්‍රමණ ශීලී හා කලහකාරී චර්යා රටා මතු වීම.
  • iv. ශිෂ්‍යයා, ගුරුවරයා හා විදුහල්පතිවරයා අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය ක්‍රමයෙන් දුරස්ථ වී යාම.
  • v. නිෂේධනාත්මක සමාජ හා මානසික කැළඹීම් තත්ත්වයකට ළමයා පත්වීම.
  • vi. ළමයා විසින් සංකල්ප ගොඩ නගා ගැනීමේ දී අහිතකර ආකාරයෙන් බලපෑම් ඇති වීම.
  • vii. පසු කාලීන ව මෙවන් සිසුන් තුළ පරාජිත මානසිකත්වයක් වර්ධනය වීමෙන් සමාජ විරෝධී ආකල්ප ඇති අයෙකු ලෙසට නිර්මාණය වීමට වැඩි ඉඩ කඩක් මතු වීම.
  • viii. පොදු දේපල විනාශ කරන තැනැත්තෙකු බවට පත් කිරීම.
  • ix. ශිෂ්‍යයන්ගේ පහළ අධ්‍යාපන සාධන ඇති වීම.

2.2.2 පාසල විසින් පිළිගත් චර්යාවන්ට නොගැළපෙන චර්යාවන් දක්වන සිසුන් නිවැරදි චර්යා රටාවන්ට හැඩ ගැස්වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පාසල් විනය මණ්ඩලයක් පිහිටුවිය යුතුය.

2.3 විනය මණ්ඩලයේ සංයුතිය:
පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, විනය භාර ආචාර්ය, අංශ ප්‍රධානියෙකු ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළත් වන සේ පාසලෙහි ශිෂ්‍ය සංඛ්‍යාවට ගැලපෙන පරිදි විනය මණ්ඩලයක් පත් කර ගත යුතු වේ.

2.3.1 සිසුන්ගේ අයථා හැසිරීමට අදාළ ව විනය මණ්ඩලයේ කාර්ය භාරය:
විනය මණ්ඩලයට පාසල තුළ සිදු කිරීමට ඇති බොහෝ කාර්යභාරයන් අතර අදාළ සිසුන් විසින් කර ඇති අයෝග්‍ය හැසිරීම් පිළිබඳව විමර්ශනය කර ඒ පිළිබඳව ලබා ගන්නා සියලු සාක්ෂි විධිමත් ව ගොනු කර තිබිය යුතු අතර, ඒ පිළිබඳව වෙන ම ලේඛන පවත්වා ගත යුතුය.

2.3.2 ශාරීරික දඩුවම් වෙනුවට පහත සඳහන් විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ:

  • i. පාසලේ සිටින සිසුන් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදීමට ඇති ඉඩ කඩ අවම කිරීම පිණිස පාසලේ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් මනාව සංවිධානය කර තිබීම හා සිසුන් විසින් සිදු කරන යහපත් ක්‍රියාවන් විශේෂ ඇගයීමට ලක් කිරීම.
  • ii. පාසලේ විනය නීති පද්ධතිය පිළිබඳව සියලු දෙනාම දැනුවත් කිරීම හා යහපත් ක්‍රියා ප්‍රතිපෝෂණය කිරීම කළ යුතු අතර, වැරදි ක්‍රියාවන් අනුමත නොකිරීම හා ඒ සඳහා කිසිදු ආකාරයක අනුබලයක් ලබා නොදීම.
  • iii. මනා හැසිරීම් රටාවක් ඇති කිරීමටත්, පාසල තුළ විනය පවත්වා ගෙන යාමටත්, විනයානුකූල ව හැසිරීමේ වැදගත්කම අවබෝධ කර දීම හා සිසුනට නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා දීම.
  • iv. ශිෂ්‍ය / ශිෂ්‍යාවන් විසින් වරදක් සිදු කරන ලද අවස්ථාවක දී ඔහු / ඇය විසින් කරන ලද වරද අවබෝධ කර දීම.
  • v. තදබල විනය විරෝධී කටයුතු සිදු කළ අවස්ථාවන්වල දී ද ශාරීරික දඩුවම් දීම වෙනුවට අවවාද කිරීම හා අවස්ථාචෝචිත පරිදි දෙමාපියන් භාරකරුවන් ගෙන්වා ඒ පිළිබඳ පැහැදිලි කර ඔවුන් දැනුවත් කිරීම. (ශාරීරික හා මානසික පීඩාවට ලක් නොවන පරිදි සිසුන්ගේ මානසිකත්වය සංවර්ධනය කළ හැකි ක්‍රියාමාර්ගයන් සඳහා කටයුතු කිරීම වැදගත් වේ.)
  • vi. එලෙස තදබල විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති විටක දී දෙමාපියන් භාරකරුවන් මෙන් ම අධ්‍යාපන බලධාරීන් ද දැනුම්වත් කර සති 02 කට නොවැඩි කෙටි කාලීන පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීම.
  • vii. වරද සිදු කරන ලද ශිෂ්‍යයා / ශිෂ්‍යාව භුක්ති විඳින ලද වරප්‍රසාද සීමා කිරීම/අත් හිටුවීම (උද: තනතුරු/ධුරයෙන් ඉවත් කිරීම).
  • viii. පාසලේ විනය මණ්ඩලය විසින් ඉතා බරපතල විනය විරෝධි ක්‍රියාවන් සිදු කර ඇති බව තීරණය කරනු ලැබූ අවස්ථාවක දී එම ක්‍රියාවේ ස්වභාවය හා බරපතලකම අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව සති දෙකකට වැඩි කාලයක් පන්ති තහනම් කිරීම හෝ ළමයා වෙනත් පාසලක ඉගෙනුම් ලබමින් සිටි ශ්‍රේණියට ම මාරු කිරීම.

ඉහත vi හා vii යටතේ ක්‍රියා කිරීමේ දී විදුහල්පතිවරයා විසින් පාසල් විනය මණ්ඩලය කැඳවා එමඟින් සිදු කරනු ලබන නිසි පරීක්ෂණයකින් පසුව ගනු ලබන තීරණයක් මත පමණක් එසේ ක්‍රියා කළ යුතුය.

සිසුන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමේ දී ඒ පිළිබඳ වාර්තා ලේඛන ගත කළ යුතු අතර, ඒවා පරීක්ෂාකාරීව විදුහලේ තබා ගැනීමට කටයුතු කළ යුතු ය. ඉහත සඳහන් පරිදි සිසුන් තුළ මනා හැසිරීම් රටාව ඇති කරලීමේ අරමුණින් ගනු ලබන ක්‍රියාමාර්ග විදුහලේ ප්‍රධාන රැස්වීමේ දී හෝ දැන්වීම් පුවරු ආදිය මඟින් පාසල තුළ ප්‍රසිද්ධ නොකිරීමට වග බලා ගත යුතු ය. එවන් ක්‍රියාමාර්ග ගත යුත්තේ සිසුවාගේ / සිසුවියගේ පෞද්ගලිකත්වය රැකෙන අයුරින් බව අවධාරණය කරමි.

2.4 පාසල් විනය පවත්වා ගෙන යාමේ අරමුණින් වුව ද සිසුන්ට දඬුවම් දීම සිදු කළහොත් පහත සඳහන් නීති ක්‍රියා මාර්ග වලට මුහුණ දීමට සිදු වනු ඇත:

  • i. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ 11 වන වගන්තිය හා XVI පරිච්ඡේදයේ 126 වැනි වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමේ නඩු නිමිත්තක් උද්ගත විය හැකිය.
  • ii. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 3 වන වගන්තියේ හා ප්‍රධාන ප්‍රඥප්තියේ 308 (අ) වගන්තිය යටතේ ළමයින් කෲරත්වයට භාජනය කිරීමේ වරද යටතේ නඩු නිමිත්තක් උද්ගත විය හැක. ඒ අනුව, එම සිදුවීමට අදාළව ඉදිරිපත් වී ඇති කරුණු විමර්ශනයේ දී ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග ගත හැකි බවට නීතිපති වාර්තා කරන්නේ නම් අදාළ වරදකරුවන්ට එරෙහි ව නඩු පැවරිය හැක.
  • iii. අධ්‍යාපනයට අදාළ බලධරයන් විසින් පවත්වනු ලබන විනය පරීක්ෂණ වලින් ශාරීරික දඬුවම ලබා දී ඇති බව ඔප්පු වුවහොත් ආයතන සංග්‍රහයේ II වන කාණ්ඩය අනුව විනය ක්‍රියා මාර්ග ගනු ලැබිය හැක.

3.0 ළමා අපහරණය

3.1 ළමා වියට නොගැළපෙන විවිධ නොනිසි ක්‍රියා සඳහා ළමයින් යොදවා ගැනීම ළමා අපහරණය ලෙස හැඳින් විය හැකිය.

3.2 ළමා අපහරණ අතරින් ලිංගික අපහරණයට සිසු සිසුවියන් යොදවා ගැනීම ඉතා බරපතල වරදකි.

3.3 එනිසා, පාසල තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිසියම් වූ අපයෝජනයකට ලක් වීම වළක්වා ගැනීම විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වගකීම වේ. පාසල තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික හා වෙනත් අපයෝජනයක් සිදු කර ඇත්නම් එය සත්‍ය බව ඔප්පු වුවහොත් බරපතල දඩුවම් වලට ලක්විය හැකි බව විශේෂයෙන් අවධාරණය කරමි. පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියද ඇතුළුව පාසල තුළ සිදු කරනු ලබන සියලු කාර්යයන්වලට බාධා සිදු වන අයුරින් විදුහලේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් විසින් විනය විරෝධී ක්‍රියාවකට සිසුන් පෙළඹවීම කිසිසේත් නොකළ යුතු ය. සිසුන් විනය විරෝධී ක්‍රියාවලට පෙළඹ වීමක් එවැනි පිරිස් වෙතින් ඇති කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර ඇති විටක එම චෝදනා ඔප්පු වුවහොත් සිසුන් පෙළඹ වීම් සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් හෝ පුද්ගලයෙකු වෙත දැඩි දඬුවම් ලබා දිය හැකි ය.

4.0 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා හිංසනය සම්බන්ධයෙන් සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතු වල ප්‍රගතිය නියාමනය කිරීම ඇතුළු විශේෂ බල තල රාශියක් සහිතව 1998 අංක 50 දරන පාර්ලිමේන්තු පනත මඟින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා ඇත. එම අධිකාරිය මඟින් ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ හෝ පාසල් ප්‍රධානීන්ගේ කිසියම් සහායක් ඉල්ලා සිටිනු ලැබූ අවස්ථාවක දී ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය එම අධිකාරිය වෙත ලබාදෙන ලෙස ද මෙමඟින් උපදෙස් දෙමි.

තවද, අමානුෂික අන්දමින් කායික හෝ මානසික දඬුවම් ලබා දීමෙන් තොර ව පාසල තුළ විනය පවත්වා ගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන අතර, පාසල තුළ ළමා අපයෝජන ක්‍රියා සිදු නොවන වාතාවරණයක් ඇති කර ගැනීමටත් වග බලා ගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කරමි. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා විදුහල්පතිවරුන් හා ගුරු මහත්ම මහත්මින් කටයුතු කිරීම උදක් අපේක්ෂා කරමි.

ඩබ්ලිව්.එම්. බන්දුසේන
ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය

Post a Comment

0 Comments